මෙරට ආර්ථිකය නගා සිටුවීමට සහ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් ජපානයේ අඛණ්ඩ සහය.

ශ්‍රී ලංකාවේ සමාජ - ආර්ථික සංවර්ධනය සඳහා ජපානයෙන් ලැබී ඇති සහාය මිල කළ නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා වලට වසර හැත්තෑවක් පිරීම නිමිත්තෙන් ජපන් තානාපති වරයාගේ කොළඹ පිහිටි නිලනිවසේ පැවති (2022/12/16) උත්සවය අමතමින් අගමැතිවරයා මේ බව කීවේය.

ජපානය හා ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පැරණි, ගැඹුරින් මුල්බැසගත් සබඳතාවයක් ඇතැයි ද පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ජපානයට බටහිර රටවලින් බලපෑම් එල්ල වූ අවස්ථාවල ශ්‍රී ලංකාව ජපානය වෙනුවෙන් පෙනී සිටියේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමටත් පෙර සිට යැයිද කීවේය.

පසුගිය දශක 7 තුළ ජපානය ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති ආකාරය ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.

ජපානය ජයිකා (JICA) හරහා මෙන්ම ජාත්‍යන්තර නියෝජිතායතන, ජපන් විශේෂ අරමුදල, දරිද්‍රතාවය අවම කිරීමේ ජපන් අරමුදල, ජපාන සමාජ සංවර්ධන අරමුදල සහ මානව ආරක්ෂණ භාර අරමුදල හරහා ශ්‍රී ලංකාවට නොමසුරුව ආධාර සපයයි. ශ්‍රී ලංකාවේ සමාජ - ආර්ථික සංවර්ධනය සඳහා ජපානය මේ දක්වා ලබා දී ඇති සහාය මිල කළ නොහැක.
ශ්‍රීජයවර්ධනපුර රෝහල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ජාතික තරුණ සේවා මධ්‍යස්ථානය, රෝහල් කිහිපයක්, පාසල්, ජල ව්‍යාපෘති, වාරිමාර්ග සහ කෘෂිකර්මාන්තය සඳහා විශාල ලෙස ආධාර ලබා දී ඇත.

"ඒකාබද්ධ ව්‍යාපෘති කිහිපයක් අනුමත කිරීමේදී යම් යම් ප්‍රමාදයන් සිදු වුවද, දෙරට අතර ඇති මිත්‍රත්වයේ සහ විශ්වාසයේ ශක්තිය නැවත වරක් ඔප්පු කරමින්, වේගයෙන් වර්ධනය වන මිත්‍රත්වයට සහ සහයෝගීතාවයට බාධාවක් වීමට ඉඩ නොදුන් බව" ගුණවර්ධන මහතා පැවසීය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව කැපී පෙනෙන මට්ටමකට අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. ජපාන තානාපති Mizukoshi Hideaki අදහස් දක්වමින්, ආර්ථික ප්‍රකෘතිය සහ වේගවත් සංවර්ධනයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන්ට ජපානය අඛණ්ඩව සහාය දෙන බවට සහතික විය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, අලි සබ්රි සහ රොෂාන් රණසිංහ යන අමාත්‍යවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.