ග්‍රාම නිලධාරීන්ගේ පුරප්පාඩු 3000 ක් සඳහා බඳවාගැනීම කඩිනම් කෙරේ... -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අභිනවයෙන් ඉදිකළ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල 2023.12.17 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි. මෙතෙක් කළක් තාවකාලික ස්ථානයක පවත්වාගෙන ගිය වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වඩා පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක් වෙත ගෙන යාමට රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අවශ්‍ය පියවර ගනු ලැබීය.

එහිදී අදහස් දැකුවූ අග්‍රාමාත්‍යවරයා -

අමිහිරි යුගය නිමා කරලා යළිත් සුබවාදී අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් අපි සූදානම් වෙන වෙලාව. මේ කටයුත්තේදී රාජ්‍ය ආයතනය සියල්ලට විශාල වගකීමක් පැවරී තිබෙනවා. අද මේ ජනතා අයිතියට පත් කෙරෙණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමට විශාල පිරිවැයක් දැරීමට රජයට සිදුවුණා.

මෙතැන් සිට මෙහි නිලධාරී මණ්ඩලයේ වගකීම විය යුත්තේ වැය වුණු මුදලට උපරිම සාධාරණයක් ඉටු කරන එකයි. ප්‍රාදේශීය ලේකම්තුමියගේ පටන් උපාධිදාරී සංවර්ධන නිලධාරීන් දක්වා වූ සියල්ලන් මේ අරමුණ වෙනුවෙන් මේ මොහොතේ සිට පෙළ ගැසිය යුතුයි.

සංවර්ධන නිලධාරී සේවයට 50 000 ක පමණ පිරිසක් බඳවා ගෙන තවම වසර 3 ක් නැහැ. නමුත් තවමත් ප්‍රදේශීය මට්ටමින් වරිපනම් එකතු නොකරණ ගෙවල් දොරවල් දහස් ගණනක් තියෙනවා. අපි අලුතින් හිතලා අලුත් විදියට කටයුතු කලා නම් මෙපමණ නිලධාරි පිරිසක් සිටියදි මේ විදියට වෙන්න පුළුවන් කමක් නැහැ. අපේ ආර්ථිකය වඩා යහපත් තැනකට ගෙන යාම සඳහා ග්‍රාම නිලධාරී මට්ටමේ සිට ප්‍රාදේශිය ලේකම් දක්වා වු යාන්ත්‍රණයට විශාල කාර්යභාරයක් කළ හැකීයි.

රටේ පැවති ආර්ථික තත්ත්වය තුළ රාජ්‍ය සේවාවේ පුරප්පාඩු පිරවීම් සීමා කිරීමට රජයට සිදුවුණා. මේ නිසාම මේ වන විට රාජ්‍ය සේවාව ගම තුල දියත් කරන ප්‍රධානම පිරිස වන ග්‍රාම නිලධාරීන්ගේ පුරප්පාඩු 3000 ක් පමණ තිබෙනවා. මේ පිරිස බඳවා ගැනීම සඳහා වන විභාග ආදිය පවත්වලා දැන් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ බඳවා ගැනීම් සිදු කරන්න. එයින් අපි අපේක්ෂා කරනවා පවතින අපහසුතාවයන් නිමා කරලා වඩා සමීප ජනතා සේවයක් ලබා දෙන්න.

අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලින් ප්‍රනාන්දු , පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය