එළඹෙන වසරේ ආර්ථික වර්ධන වේගය 3%ක් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය...

ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අද (12) අරලියගහ මන්දිරයේ සංවිධානය කර තිබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමිනි.

සෑම වසරකම මැයි 12 වනදා ජාත්‍යන්තර හෙද දිනය ලෙස සමරනු ලබන්නේ හෙද සේවයේ නිර්මාතෘවරිය වන ෆ්ලෝරන්ස් නයිටිංගේල් ආර්යාවගේ ජන්ම දිනය නිමිති කර ගනිමිනි.

’අපේ හෙදියන්- අපේ අනාගතය, හෙද සාත්තුවේ ආර්ථික බලය’ යන්න මෙවර ජාත්‍යන්තර හෙද දිනයේ තේමාවයි.

ශ්‍රී ලංකා හෙද විශ්වවිද්‍යාලයේ සමරු ඵලකය නිරාවරණය කර එය ආරම්භ කිරීම ද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිල වෙබ් අඩවිය දියත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

අද විශේෂ දිනයක්. අද අප ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිණියගේ උපන්දිනය සමරනු ලබන්නේ හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමෙන් පසුවයි. අපේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ විශාල සටනක ප්‍රතිඵලයක් ලෙසයි මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ. කෙසේ නමුත් අප එම වැඩකටයුත්ත සාර්ථකව ඉටුකර තිබෙනවා. දැනට පවතින ගොඩනැගිල්ලේ මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කර පසුව එය දියුණු කිරිමට කටයුතු කළහැකියි.

අපේ පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ ජීවිත කතාවේ ප්‍රධාන කොටසක් බවට මෙම විශ්වවිද්‍යාලය පත් වෙනවා. හෙද විද්‍යාවට අමතරව විදේශ භාෂා ඉගැන්වීමට ද මෙම විශ්වවිද්‍යාල මගින් කටයුතු කළයුතුයි. ඉංග්‍රීසි, ජර්මන්, ජපන්, කොරියන්, චීන ඇතුළු සෑම භාෂා දැනුමක්ම මෙහිදී ලබාදිය යුතුයි. මෙම දැනුම ලැබු විට හෙදියින්ට විදේශ රටවල සේවා අවස්ථා ලබාගත හැකියි. විශේෂයෙන් එංගලන්තය සහ ජර්මනිය වැනි රටවල වැඩිහිටියන් සඳහා නිවාස ඇති කර තිබෙනවා. ඒ වගේම ලංකාවෙත් එවැනි ආයෝජන අවස්ථා පිළිබඳ කැමැත්ත පළ වී තිබෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත් කටයුත්තක් වෙනවා.

අද මෙහිදී භාණ්ඩාගාරය පිළිබඳ කථා කළා. භාණ්ඩාගාරය පිළිබඳ කථා කරන විට මට සිහිපත් වන්නේ අලගියවන්න මුකවේටි කවියාගේ කොන්ස්තන්තීනු සටනයි. දා සා වගේ සෑම පැත්තෙන්ම දැන් වට කරගෙන ගහනවා. කෙසේ නමුත් අප භාණ්ඩාගාරය රැකගෙන ඉදිරියට යා යුතුයි.

කෙසේ හෝ මෙම කාලය තුළදී අපි හැකි අයුරින් රාජ්‍ය සේවකයන්ට සහන ලබාදී තිබෙනවා. ලබන වසරේදී වැටුප් වැඩි කිරිමක් සිදු කිරීම පිළිබඳවද අපේ අවධානය යොමුව තිබෙනවා. පසුගිය වසර 04 දී අප ඉතා අසීරු තත්ත්වයකයි සිටියේ. මෙරට ආර්ථික වර්ධනය ආරම්භ වූණේ පසුගිය වසරේ අවසන් කාර්තු දෙක තුළයි. 2020 වසරේ සිට වසර තුන හමාරක් මේ රටේආර්ථික දියුණුවක් සිදුව තිබුණේ නැහැ. කොවිඩ් වංසගතය මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා.

ඒ වගේම රට තුළ මන්දපෝෂණය පැතිර යාම විශාල ගැටලුවක් බවට පත්ව තිබුණා. දිළිදුකම සහ මන්දපෝෂණය නිසා අතැම් දරුවන්ගේ වර්ධනය සිමා වී තිබුණා. මෙම තත්ත්වය අනාගතයේදී විශාල බලපෑමක් විය හැකියි. ඒ නිසා මේ තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් මුදල් වෙන් කිරීමට සිදු වුණා. අපි ඒ වෙනුවෙන් ලෝක බැංකුව සමග සාකච්ඡා කර සමෘද්ධිය මෙන් තුන් ගුණයක මුදලක් අස්වැසුම හරහා ජනතාවට ලබාදීමට කටයුතු කළා. ඒ වගේම එම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 18 සිට ලක්ෂ 24 දක්වා ඉහළ දැමුවා. ඒ අනුව මූලික වශයෙන් මෙම අංශය වෙනුවෙන් මුදල් වැය කිරිමට සිදු වුණා.

ඒ වගේම රජයේ සේවකයන්ගේ අසීරුතා හඳුනාගෙන ඔවුන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දීමට කටයුතු කළා. එමඟින් පුද්ගලික අංශයේ සහ වැවිලි අංශයේ වැටුප් වැඩි කිරීමට සංඥාවක් ලබා දීම සිදු වුණා.

පසුගිය යල සහ මහ කන්නවල අපට සාර්ථක වී අස්වැන්නක් ලැබුණා. පසුගිය සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ මෙන්ම මෙම වෙසක් උත්සවයේදීත් එම මුදල් නැවත ආර්ථිකයට එක් වෙනවා. මෙවන් තත්ත්වයක් තුළ ලබන වසරේ 3%ක ආර්ථික වර්ධනයක් ලබාගත හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. එහිදී නැවත රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදු කිරීම කෙරෙහි අපගේ අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවබෝධයකින් කටයුතු කිරීම පිළිබඳ මම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ලබන වසරේදී මීට වඩා ආර්ථික දියුණුවක් රට තුළ ඇතිකරගත යුතුයි. එම ආර්ථික වර්ධනය ඇති කර නොගතහොත් අපට මෙම ඉලක්කයන්ට යාම අසීරු වෙනවා.

දැන් අපට මුදල් මුද්‍රණය කරන්න බැහැ. අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කොන්දේසියකට පැමිණ තිබෙනවා මුදල් මුද්‍රණය කරන්නේ නැහැ කියලා. එසේ නම් අපට තිබෙන එකම මාර්ගය ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමයි. අපට ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා අප දැන් අවසන් කරගෙන යනවා. ඊළගට පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කරනවා. ඒ අනුව මේ වසර තුළදී අප බංකොළොත්භාවයෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙනවා. නමුත් මෙම ආර්ථික ගැටලුව එතනින් අවසන් වන්නේ නැහැ. අපට ණය සහනයක් ලැබුණත් ඉතිරි මුදල් ගෙවිය යුතුයි.

ඒ නිසා අප ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ඡා කර අපේ ආර්ථිකය වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. ආනයන පදනම් කරගත් ආර්ථිකය වෙනුවට අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයකට අප ගමන් කළයුතුයි. අපි එම කොන්දෙසිවලට එකඟ වෙලා තිබෙනවා. අපට එයින් ඈත් වෙන්න බැහැ. එයින් ඉවත් වුණහොත් මෙම සහන නැති වෙනවා. ඒ නිසා මේ සමඟ ඉදිරියට යා යුතුයි.

එහිදී අප සෑමවිටම අයවැය අතිරික්තයක් පවත්වාගෙන යා යුතුයි. නැත්නම් ණය ගෙවීමට නොහැකි වෙනවා. අපි මෙම සියලු තීරණ ගත්තේ රට වෙනුවෙන් බව කිවයුතුයි. දැන් අපට තිබෙන්නේ අපනයන ආර්ථිකයක් සමග සීග්‍රයෙන් ඉදිරියට යාමටයි. මේ වෙනුවෙන් අප නීති කිහිපයක් සකස් කර තිබෙනවා. ඉන් ඇතැම් නීති සම්මත කර තිබෙන අතර අනිත් ඒවා සම්මත කර ගැනීමට තිබෙනවා.

ඉන් පළමුවැන්න ලෙස අප මහ බැංකු නීතිය සම්මත කළා. මුදල් මුද්‍රණය කිරීම සහ රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම තහනම් කර මහ බැංකුවට ස්වාධීනත්වයක් ලබා දීමට එමගින් කටයුතු කළා. ඒ වගේම තවත් නීති 03 ක් සකස් කර තිබෙනවා. එයින් රාජ්‍ය ණය කළමනාකරණ නීතිය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. අපට ණය ලබාගත හැකි යම් සීමාවක් තිබෙනවා. එසේ නම් කොන්දේසි ගණනාවක් අනුව ණය ලබා ගැනීමටත්, ණය ආපසු ගෙවීමේදීත් අප එම නීතිය අනුව කටයුතු කළයුතු වෙනවා.

ඒ වගේම රාජ්‍ය මුදල් පනත ඉදිරිපත් කරනවා. මෙතෙක් කල් මුදල් පාලනය කළේ FR අනුවයි. අපි දැන් නීතියෙන් මුදල් පාලනය කිරීමට කටයුතු කළයුතුයි. රජයේ මුදල් හැසිරීම, ආදායම් එකතු කිරීම, මුදල් බෙදා හැරීම ඉදිරියේ දී මෙම නව නීතියට අනුව සිදුවන අතර අප එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

අප දැනටමත් පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලය ආරම්භ කර තිබෙනවා. භාණ්ඩාගාරයට අමතරව තවත් ස්වාධීන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීම වෙනුවෙන් ආයතනයක් ඇති කර තිබෙනවා. ඒ අනුව එම ආයතන මෙම නීති දෙක යටතේ ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම ආර්ථික පරිවර්තන නීතිය අප ඉදිරිපත් කරනවා. මේ රටේ ආර්ථිකය අපනයන පදනම් කරගත් නව ආර්ථිකයක් බවට පත්කළයුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් රටවල් සමඟ අප එකඟ වූ කොන්දේසි සියල්ලම නීතියක් ලෙස ගෙන එනවා. මෙම නීතිය සම්මත කර ගැනීම වෙනුවෙන් සහාය ලබා දෙන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකින්ම මම ඉල්ලනවා. මොකද මෙම නීති මත තමයි අපේ රටේ අනාගතය රදා පවතින්නේ.

විශේෂයෙන් අද අපේ සෞඛ්‍ය අංශය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළයුතුව තිබෙනවා. අපේ රටේ වැඩිහිටි ජනතාව වැඩි වී තිබෙනවා වගේම මන්දපෝෂණය වළක්වා ගැනීමට කටයුතු කළයුතුව වෙනවා. ඒ සඳහා ආර්ථිකයේ සීග්‍ර දියුණුවක් ඇති කළයුතුයි.

එක් එක් පක්ෂවලින් එකතුකරගෙන අපි ආණ්ඩුවක් නිර්මාණය කළේ මේ රට ගොඩගැනීමටයි. අද අප එය ඉටු කර තිබෙනවා. දැන් රට ඉදිරියට ගෙන යන මෙම ප්‍රධාන නීති 03 ඉදිරිපත් කර ජූනි මාසයේ ඒ පිළිබද විවාදයක් සිදු කරනවා. මම සිතනවා සියලුදෙනා මේ සමග එකඟ වෙයි කියලා. කිසිවෙක් මීට විකල්පයක් ඉදිරිපත් කර නැහැ. ඒසේ නම් අප මෙම නව නීති සම්මත කරගෙන රට දියුණු කරමින් ඉදිරියට යමු කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරිමට අවශ්‍යයි. මෙම නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් පමණයි එය සිදු කළ හැක්කේ. ඒ නිසා මෙම වැඩපිළිවෙළට ඔබ සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා

හෙද හෙදියන්ට සුවිශේෂී අද දවස තවත් සුවිශේෂී දවසක් බවට පත්වුණා.

ඕනෑම අර්බුදයකදී මිනිස් ජීවිතවලට උදව් කරන හෙද හෙදියන් කෙරෙහි මුළු මහත් සමාජයේම විශ්වාසය පවතිනවා. ඒ විශ්වාසය නිසාම අපේ රටේත්, ලොව පුරාත් මේ දිනය සිහිපත් කරනවා. ඔබ ළඟට පැමිණෙන ඔබ හමුවට ජනතාව පැමිණෙන්නේ අති මහත් විශ්වාසයෙන්.ඒ නිරෝගිභාවයේ සහතිකය ලබාගෙන යළිත් ගෙදර දොරට හෝ වැඩ බිමට යන්න. ඔබ හෙද හෙදියන් ලෙස සමාජයේ සුවිශේෂ වගකීමක් බාරගෙන තිබෙනවා. ඒ නිසාම අපේ රටේ හෙද සේවය විවිධාකාර ක්ෂේත්‍ර කරා ගමන් කරමින්, දීර්ඝ ගමනක් පැමිණ තිබෙනවා.

මේ ක්ශේත්‍රයට සෑම ආණ්ඩුවකින්ම, හැකි හැම සහයෝගයක්ම, හැම කල්හිම ලැබුණා.

වත්මන් සෞඛ්‍ය අමාත්‍ය වරයා ගැන අපි කාටත් විශ්වාසනීභාවයක් තිබෙනවා. වෛද්‍ය සේවය පිළිබඳ ගැඹුරින් දන්න,ක්ශේත්‍රයට හිතවත් බවක් දක්වන හා එතුමා ප්‍රශ්නවලට අවතීර්ණ වන ස්වභාවය පිළිබඳ දක්වා තිබෙන විශ්වාසය මෙහිදී වැදගත් වෙනවා. හෙද සේවයට විශ්ව විද්‍යාලයක් හිමිවෙන්නේ බොහොම දීර්ඝ සාකච්ඡා රාශියක් මැදයි. ඒ සදහා අවුරුදු ගණන් ගත වුනා. ඒ වෙනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ හා අදාළ නිලධාරීන් දක්වන ලද ක්‍රියාමාර්ග මත ජනාධිපතිතුමා ඉතා අධිෂ්ඨානයෙන් යුතුව හෙද සේවය විශ්ව විද්‍යාලයක් බවට පරිවර්තනය කිරීම පිළිබඳව ප්‍රකාශ කලා. ඒ වැදගත් මහ පෙරළියට තීන්දුව ලබාදුන්නා.ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමා හා අදාල අමාත්‍යංශ නිලධාරීන් ද විශාල සේවාවක් ඉටුකලා. ඒ උතුම් සේවාව තවත් උතුම් අවස්ථාවකට පිවිසීම රටටත්, ජනතාවටත් හොඳ සේවාවක් ලබාදීමට හේතු වෙනවා. නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන හෙද හෙදියන් දහස් ගණනක් එහි ආඩම්බරය හා සතුට භුක්ති විඳිනවා. පස්වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳව සාකච්ඡාවට කීපයක් පැවැත්වූ බව අපට සිහිපත් වෙනවා.

මුදල් ප්‍රශ්න තිබුණු නිසායි රට ඇණ හිටියේ.ඒ බව අපි අමතක කළ යුතු නැහැ. අමාරු ගමනක් මැද අපි ජය භූමිය කරා ගමන් කරනවා. ඊට විශ්වාසය ලබා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන්. අපේ රටේ අමාරුම කාලපරිච්ඡේදය වෙනස් කරවලා ඉදිරියට ගමන් කරන්න පුළුවන් තත්ත්වයට ගෙනාවා.

මම මුදල් ඇමතිතුමා නොවුවත් කියන්න ඕනේ, අපි දැන් මුදල් නෝට්ටු අච්චු ගහන්නේ නැහැ. ඒ මහා පෙරළිය ලංකාවේ මූල්‍ය ක්‍රමයට ගේන්න ජනාධිපතිතුමාට පුළුවන් වුණා. එහි ගැබ් වුණු බරපතල අර්ථාන්විත ආර්ථික ප්‍රතිඵලයක් තියෙනවා. අපේ රාජ්‍ය දෙපාර්තමේන්තු සියල්ල ඒ වෙනුවෙන් පරිත්‍යාගයෙන් කැපවීමෙන් කටයුතු කළා.

ඔබ ලැබූ ජයග්‍රහණය හෙද පරම්පරාව නියෝජනය කරන රාජ්‍ය සේවා හෙද සංගමය සමග සතුටු වෙනවා. ඒ වගේම ඉදිරියේදීත් ඔබෙන් ඉටු විය යුතු කාර්යභාරය නිසියාකාරව ඉටුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා

මෙම මාසය මම සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන හයවන මාසයයි. ඒ මාස හය තුළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාලතම සහ විශිෂ්ඨතම වෘත්තිය කණ්ඩායමක් වන හෙද සේවය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් සිදු කළ හැකි වූ කටයුතු කිහිපයක් ඉටු කිරීමට හැකිවීම පිළිබඳව මම නිහතමානීව සතුටට පත් වෙනවා.

ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ පළමු හෙද විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය ඇති කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

ආර්ථික අපහසුතා මැද අප ගත කළ කාලය ක්‍රමානුකූලව වියැකෙමින් තිබෙනවා. 2024 වසරේදී ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයට වැටුප් වැඩිකිරීමක් සිදු කළා. ඉන් ඔබ්බට ගොස් ඔබ වෙනුවෙන් කොතරම් ආර්ථික අපහසුතා තිබුණත් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද සේවාවේ විශිෂ්ඨත්වය අගයමින් නිළ ඇඳුම් දීමනාව වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.ඒ වගේම මැයි මාසයේ සිට ඔබේ විශේෂ රාජකාරි දීමනාව දෙගුණ කර ලැබෙන බව මේ අවස්ථාවේ දී සඳහන් කිරීමට කැමතියි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ එක් ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සේවය කරනවා. මෙරට දේශපාලනඥයන්ට වගේම රාජ්‍ය සේවකයන්ටත් විවිධ චෝදනා එල්ල වන පරිසරයක ශ්‍රී ලංකාවේ හෙද සේවයට එවන් කිසිදු චෝදනාවක් එල්ල නොවන බව ඉතා ගෞරවයෙන් හා සතුටින් ප්‍රකාශ කරනවා. හෙද සේවාවේ විශිෂ්ඨත්වය එයයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

අද ජාත්‍යන්තර හෙද දිනය සමරනු ලබන්නේ ෆ්ලෝරන්ස් නයිටිංගේල් ආර්යාවගේ ජන්ම දිනය සිහිපත් කරමිනුයි. අද දිනයේ මම සමස්ත හෙද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ නයිටිංගේල් ආර්යාව ගිය මඟ යන ලෙසයි. අද පොඩි දෙයටත් අරගල කිරීමට පෙළඹී සිටිනවා. ඒත් මම කියන්න කැමතියි අපි දැන් සියලු දේ දිනාගෙන අවසන්. ඉදිරියේදී සිදු කළ යුත්තේ දිනා ගත් දේ ආරක්ෂා කර ගැනීමයි. යුතුකම් ඉටු කර වැටුප් වැඩි කර ගනිමු. කුමන බලපෑම් පැමිණියද උතුම් හෙද සේවාවේ ගෞරවය රැක ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. අරගල තුළින් නොව සාකච්ඡා තුළින් අයිතීන් දිනා ගනිමු.

හෙද විශ්වවිද්‍යාලයක් ලබා ගැනිම සුළු පටු ජයග්‍රහණයක් නොවෙයි. එය හෙද ඉතිහාසයේ අප ලැබූ විශාලතම ජයග්‍රහණයයි. එම ජයග්‍රහණය අප කිසිදා අමතක නොකළ යුතුයි. හෙද නිලධාරීන් වෙනුවෙන් ඩිප්ලෝමා සහතිකය ලබා දුන්නේත් එවකට අග්‍රාමාත්‍යවරා වශයෙන් කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ඒ වාගේම අද නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරය ලබා දුන්නේත් එතුමායි.

අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ජනාධිපතිතුමා ගත් තීන්දු තීරණවලින් තමයි මේ අයිතීන් අපට හිමි වන්නේ. විෂ පොවන අයට අවශ්‍ය වන්නේ අයිතීන් දිනා දීමට ‍නොවෙයි. ඔබව පාරට දමන්නයි. අපට ඕනෑම ගැටලුවක් සාකච්ඡා කළ හැකි ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් සහ අමාත්‍යවරයෙක් සිටින බව අප මතක තබා ගත යුතුයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, යදාමිනී ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යන මහත්වරුන් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, හෙද විදුහල්පතිවරුන්, හෙද නිලධාරීන්, හෙද සිසුන්, විශ්‍රාමික හෙද නිලධාරීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය