නිරිත දිග මෝසම් තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම උදෙසා අමතර මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය පිණිස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට 2024.06.03 ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අයහපත් කාලගුණ තත්වය හමුවේ සිදුව ඇති හානිය පිළිබඳව සති දෙකක් ඇතුලත තත්ව වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් අධීක්ෂණ බලකාය යොදවමින් අදාළ වගකිව යුතු එක් එක් අමාත්‍යාංශවල පූර්ණ දායකත්වයෙන්, වහාම ක්‍රියාත්මක වන පරිදි හානියට පත්ව ඇති පොදු යටිතල පහසුකම් පද්ධති යළි ප්‍රකෘති තත්වයට පරිවර්තනය කිරීමේ ක්ෂණික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම යන නිර්දේශවලටද කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණවල මෙසේ දැක්වේ.

"මෙවර නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමඟම අනපේක්ෂිත අයුරින් වර්ධනය වෙමින් පවතින කාලගුණ විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස, දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකම අධික වර්ෂාව හේතුවෙන් නායයෑම්, ගස් කඩා වැටීම්, ගංවතුර මෙන්ම පොදු යටිතල පහසුකම් පද්ධති වලට දැඩි හානි සිදු වීමෙන් පවුල් දහස් ගණනක් තාවකාලිකව අසරණ භාවයට පත්ව ඇත. එබැවින්, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ සේවය ලබා ගනිමින් අදාළ අනෙකුත් අමාත්‍යාංශවල පූර්ණ දායකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි බලපෑමට ලක් වී ඇති පවුල් සඳහා සහන සැලසීමට සහ හානියට පත්ව ඇති පොදු යටිතල පහසුකම් යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ ක්ෂණික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී."

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය