බොහෝ රටවල ආර්ථිකය අඩපණවී රාජ්‍ය සේවකයන් ගෙදර යවද්දී අපේ රටේ එහෙම වෙන්න දුන්නේ නෑ. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා...

රාජ්‍ය සේවක වගකීම ඉෂ්ට වෙන්නට ඕනේ ජනතාව වෙනුවෙන්.

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය දෙමහල් ගොඩනැගිල්ල පොදු ජන අයිතියට පත් කිරීම 2024.06.15 දින පේමඩුවේදී සිදුකළ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රමාත්‍යවරයා -

"අපේ ඉතිහාසයේ කියැවෙන්නේ, අපේ ඉතිහාසය පෝෂණය වන්නේ, ශතවර්ෂ ගණනාවකට පෙර මේ ප්‍රදේශවලින් දායාද වුණු ඉතිහාසයයි. අපේ රටට ලොවත් සමග අසමසම ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන්නට පුළුවන් වුණේ මේ ප්‍රදේශවලින් දායාද වුණු මහා ශිෂ්ටාචාරයයි.

ඉතා අමාරු කාලපරිච්ඡේදයක අපට රටේ වගකීම බාරගන්නට සිද්ධ වුණා. නොයෙක් නොයෙක් සංඛ්‍යාලේඛන විවාද වර්තමානයේ විතරක් නෙවෙයි ඉතිහාසයේත් සිදුවෙන දෙයක්. කිසිම ගණිත ශාස්ත්‍රයක් ඒකාකාර විදියට දියුණු වෙලා නැහැ. වාද විවාද, පසුබෑම්, වැරදීම්, සිදුවෙලා ඉදිරියට යනවා. ජනාධිපතිතුමා සහ රජයට පුළුවන්කම ඇතිවුණා, රටේ ආර්ථිකය අවුලකින් අවුලට යන්නැති වෙන්න ස්ථාවර කරන්න. රටේ නීතිය ස්ථාපිත කළා. ලෝකයේ රටවල් අතරින් ස්ථාවර රජයක් තිබෙන රටක් බවට යළිත් පෙන්නුම් කළා. මේ ක්‍රම මතයි ලෝකය අපිත් එක්ක ගනුදෙනු කරන්නේ, සලකන්නේ, පිළිගන්නේ හැමදේම කරන්නේ. නීතිය අර්ථ නිරූපණය කළ හැකි වෙලාවට එය අර්ථ නිරූපණය විය යුත්තේ ජනතා යහපතටයි.

මෙතන ඉන්න ගොවිජනතාව එදා ඇතිවුණු අර්බුදයේදී හිටපු තත්ත්වය මම අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගොවි ජනතාව බොහෝ දේ ඉල්ලා සිටියා. එදා මේ ගොවි ජනතාව ඉල්ලු වැඩපිළිවෙල සහ ඇතිවුණු ගැටලුව යළිත් දියුණුව කරා හරවා ගන්නට ආණ්ඩුව ගොවි ජනතාව කෙරෙහි විශ්වාසය තිබ්බා. ගොවි ජනතාවට අහරින් අතිරික්තයක් නිෂ්පාදනය කරලා, අපේ රටේ ආහාර ප්‍රශ්නය විසඳන්න පුළුවන් රටක් බවට අපි යළිත් ඔප්පු කළා. ඒක අපේ ගොවි ජනතාව ඔප්පු කළා. ඒ නිසාම අපි දිහා බලා හිටි විවිධ රටවල් ශ්‍රී ලංකාව බොහොම ඉක්මනින් යළි ආර්ථිකය පනවගන්වා ගත හැකි රටක් බව ප්‍රකාශ කළා.

ඉතාම සාර්ථක ස්වයංපෝෂිත භාවය සහ අපනයනය පරිවර්තනය කළ හැකි අක්කර දහස් ගණනක හිමිකාරයෝ, මල්වතු ඔය නිම්නයේ, තන්තිරිමලේ අවට ජීවත් වන ගොවී ජනතාවයි. එය එලෙසම ගොඩනැගීම සඳහා අපේ රජය කැපවී සිටිනවා. ඒ නිසා අපි ප්‍රකාශයට පත් කරල තිබෙන වැඩසටහන ඉදිරියට ගෙන යමු. රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ඊට සහයෝගය ලබා දෙන්න. කිසිම රාජ්‍ය නිලධාරියෙකුට අපි අඩුවක් කරලා නැහැ. ලොව බොහෝ රටවල ආර්ථිකය කඩා වැටෙද්දී රජයේ සේවකයන් දහස් ගණන් ගෙදර යැව්වා. වැටුප් නැවැත්තුවා. අපේ රටේ එහෙම කළේ නෑ. ඒ වගේ අමාරු තත්ත්වයකට ග්‍රීසිය පත්වුනා. රාජ්‍ය සේවකයෝ භාගයක් ගෙදර තිබ්බා. විශ්‍රාමයකින්ට විශ්‍රාමිකය ගෙව්වේ මාස දෙක තුනයි. අපි කිසිම රාජ්‍ය සේවකයෙක්ගේ වැටුප් නැවැත්තුවේ නැහැ. මේ අමාරු කාල පරිච්ඡේදයේ වුණත් විශ්‍රාම වැටුප නැවැත්තුවේ නැහැ. අමාරු කාල පරිච්ඡේදය වුණත් අපේ රාජ්‍ය සේවයේ නිලධාරීන් පහළ සිට ඉහළට ඒ ලෙසම තම අයිතිවාසිකම් භුක්ති වින්දා. විශ්වාසයකින් රටේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට ප්‍රධාන කොටස්කරුවන් හැටියට මේ ගමනෙදි රට වෙනුවෙන් ඉටු කළ යුතු එක කාර්යයක් තිබෙනවා.

අප පෞද්ගලික අංශය නොවේ. අපි රජය. රාජ්‍ය සේවය කියන්නේ සුවිශේෂ වගකීමක්. රාජ්‍ය සේවය වගකීම ජනතාව වෙනුවෙන් ඉෂ්ට වෙන්නට ඕනේ. ඒ නිසයි රාජ්‍ය සේවය තිබෙන්නේ. ග්‍රාම සේවක, ප්‍රාදේශීය ලේකම්. දිසාපති සිට ඉහළට සියලු අංශ ඒ රාජ්‍ය සේවයේ වගකීම හා යුතුකම ඉටු කළ යුතුයි. වගකීම තියෙන්නෙ තනතුරයි. යුතුකම ඊටත් එහා ගැඹුරුයි. මනුෂ්‍යත්වය යුතුකමේ කොටසක්. මේ ප්‍රදේශවල ජනතාව අමාරුවෙන් රජයේ සේවය ලබා ගැනීම සඳහා එනවා. ඔවුන් සංවර්ධනයේ ඉදිරියට ගෙනයන්නට කටයුතු කිරීම නියම රාජ්‍ය සේවකයන්ගේ යුතුකමයි. එය සම්පූර්ණයෙන් ඉටුවෙනකොට රට ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන්නට පුළුවන්කමේ හවුල්කාරීත්වය ඔබටත් ලැබෙනවා. ඒ නිසා අපි එකට එකතුවෙලා මේ කටයුතු ඉටු කරමු."

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති එස්.එම්. චන්ද්‍රසේන යන අයද සභාව ඇමතූ අතර, ගොවීන් රැසකට ඉඩම් බලපත්‍ර ලබාදීමද මෙහිදී සිදුවිය.

තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන හිමි ඇතුළු සඟරුවන, අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. මුතුකුමාරණ, වීරසේන ගමගේ, ඉශාක් රහුමාන්, හිටපු ප්‍රධාන අමාත්‍ය එස්එම්. රංජිත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් ඇතුළු හිටපු පළාත් පාලන නියෝජිතයින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, අනුරාධපුර දිසාපති ජනක ජයසුන්දර, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, ගොවි ජනතාව, ප්‍රදේශවාසීන්, මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය