සංවර්ධන ඉලක්ක සපුරාලීමේ අරමුණෙන් රජයේ නිලධාරීන්ට දිමනාවක්... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

පාසලෙන් පිටවෙන දරුවන් තොරතුරු තාක්ෂණය සහ වෘත්තීය පුහුණුවට යොමු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය...

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (2024.03.12) පුත්තලම, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

ජනතාවගේ ප්‍රශ්න වලට රජය මගින්, රාජ්‍ය දෙපාර්තමේන්තු මගින් ඉටු කළ යුතු සේවාවට මුල් වියයුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි.

ඔබ ඉටුකරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලුතෙන් ප්‍රකාශයට පත් කර තිබෙන සංවර්ධන ක්‍රියාදාමයේ එක වැදගත් කොටසක්. ප්‍රාදේශීය සංවර්ධනයට, දිස්ත්‍රික් සංවර්ධනයට අපේ ආණ්ඩුකාරවරුන් සමඟ ඒ සැලසුම් ගමට ගෙනයාම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වගකීම.

මේ කටයුත්ත ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඇඟිලි තුඩුවල තියෙන්න ඕනේ. ආපහු පොතපත බලන්න බැහැ. මේ කාර්යාලය හෙට දිනයේ සිට එවැනි තත්ත්වයකින් අලුත් ජවයකින් සේවාව ඉටුකළ යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වෙන්න ඕනේ. ආදායම් ඇති සහ ආදායම් දුර්වල ජන කොට්ඨාස දෙකක් මේ සමාජයේ සිටිනවා. ඒ හැමෝගෙම බලාපොරොත්තු ඉටු කළ යුතුයි. ආදායම් ඇති අයට ඒ ආදායම් වැඩිදියුණු කර ගැනීමටත් ආදායම් දුර්වල ජන කොට්ඨාස නගා සිටුවීමටත් පියවර ගතයුතුයි. රජයේ ප්‍රකාශිත අයවැය ‍ලේඛනයේ වැඩපිළිවෙළ අනුව පෞද්ගලික අංශය දියුණු වෙන්න ඕනේ. සම්පත් වැඩි වෙන්න ඕනේ. සම්පත් එසේ වැඩිවෙන්න නම් තවත් ආයෝජනයන්ට රුකුල් ලබාදිය යුතුයි.

ජනාධිපතිතුමා ධූරය භාරගෙන ආණ්ඩුව භාරගත්ත වේලාවේ රට තිබුණු තත්ත්වය ඔබ සැමට කලින් මතක් කලා. එය ඔබේ මතකයෙන් ගිලිහී ගොස් නැතැයි කියා අපි විශ්වාස කරනවා. එවැනි තත්ත්වයක් අපි යළි ප්‍රාර්ථනා නොකරමු. එවැනි තත්ත්වයකට යළිත් රට ගෙන නොයන්න, ඒ කාල පරිච්ඡේදයේ මුහුණ දෙන්නට සිදුවුණු අමාරුම සේවා සහ පහසුකම් වගේම ද්‍රව්‍යමය අත්‍යවශ්‍ය පහසුකම් සඳහා වේගවත් සහනයක් අප ලබා දීලා තියෙනවා.

ප්‍රශ්න ඉවර නැහැ. ප්‍රශ්න හමාර කර ගත හැකි අලුත් උත්සාහයකට ආර්ථිකය ගමන් කළ යුතුයි. ඒ ගමන රාජ්‍ය නායකයාට හෝ පාර්ලිමේන්තුවට හෝ අග්‍රාමාත්‍යවරයාට පමණක් කරන්නට බැහැ.මුළු රටම එකතුවෙලා ගන්න ඕන පියවරක්.

රට පණ ගන්වන්නට නම් අලුත් බලාපොරොත්තු ඇතිව ආර්ථිකය වර්ධනය කරගත යුතුයි. විදේශ ආයෝජනයන් සහ දේශීය ව්‍යාපාරිකයන්ද ඊට එකතු වී අලුත් උත්සාහයක නිරත විය යුතුයි. මේ දේට රුකුල් දීමයි ප්‍රාදේශීය ලේකම්තුමා සිදු කළ යුත්තේ.

රාජ්‍ය සේවකයින්ට යම්කිසි දීමනාවක් වැඩි කරන්නට පුළුවන් වෙන ආකාරයට ආදායම් වැඩි කරගන්න අපට පුළුවන් වුණා. විශ්‍රාමිකයෝ හය ලක්ෂයක් ලංකාවේ ඉන්නවා. ඒ අයගේ විශ්‍රාමයත් එලෙස ශක්තිමත් කරල ලබාදෙන්න පුළුවන්කමට අද රට ගෙනල්ලා තියෙනවා. විශ්‍රාම අර මුදලට බිලියන 18ක හිඟයක් තිබුණා. අප ඒ සියල්ල ගෙව්වා. අරමුදල හිඟයක් නැතුව දැන් ශක්තිමත්ව වැඩ කරනවා.

ඔබේ රාජකාරිය ඉෂ්ට කරන්න වගකීමක් හා යුතුකමක් තිබෙනවා. ඒ මහජනයා වෙනුවෙන්. එය ඉෂ්ට කිරීම සඳහා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශක්‍රීය වෙයි කියලා මම විශ්වාස කරනවා.

අපි ඊයෙ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා තීරණයක් ගත්තා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම සිටින උප නිලධාරීන්ට දීමනා ගණනාවක් වැඩි කරන්න. සංවර්ධනය ඉලක්කයන් සපුරාලීම සඳහායි එය තීරණය කරනු ලැබුවේ. ඒ අනුව සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා නිලධාරීන්ට අලුත් දිමනාවක් එක් වෙනවා ඇති. දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්වරුන්, ඉලක්කයන්ට වැඩ කිරීමෙන් ඵලදායී නිෂ්පාදන සහ සේවාවන් ඇති කිරීමයි අවශ්‍ය වන්නේ.

සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම පුරප්පාඩු සඳහා ලබන මාසේ අන්තිම වෙන්න පෙර අලුත් ග්‍රාම නිලධාරිවරයෙක් පත් විය යුතුයි. අඩුපාඩුවක් තිබෙනවා නම් එය සපුරාලීමෙන් අපට ප්‍රාදේශීය ලේකම් ජාලය ශක්තිමත් කළ හැකියි.

පාසලෙන් පිටවෙන දරුවන් තොරතුරු තාක්ෂණය සහ වෘත්තීයමය දැනුම ඇති කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන බලයක් පැවරුවා. රාජ්‍ය දෙපාර්තමේන්තු වෙන්න පුළුවන්, ප්‍රාදේශීය සභාව මගින් හෝ පළාත් පාලන ආයතන සියල්ලටම පුළුවන් මේ වැඩ පිළිවෙලට අවතීරණය වීමට. අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ අවශ්‍ය දැනුම ඇති වෘත්තිකයන් ලබාගෙන අපේ දරුවන්ට විශේෂ දැනුමක් ලබාදීමේ ඉලක්ක සපුරාලන්න. එයින් අලුත් සමාජයකට, අලුත් දැනුම ඇති සමාජයකට පිවිසෙන්න පුළුවන්කම කරා ගමන් කරන අධ්‍යාපනයේ තවත් මාර්ගයකට ඉදිරි මාස දෙක තුළ පිවිසෙන්නට ප්‍රාදේශීය ලේකම්වරුන් සහාය වෙනු ඇතැයි මම හිතනවා.

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, අරුන්දික ප්‍රනාන්දු, පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති චින්තක අමල් මායාදුන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යාදාමිණි ගුණවර්ධන, ජගත් ප්‍රියංකර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය