“මෙතෙක් පැවති දුක් කම්කටොලුවලින් හිස ඔසවන්න අදිටන් කරගනිමු” - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, දිවයින පුරා ක්‍රියාත්මක ’අලුත් ගමක් - අලුත් රටක්’ වැඩසටහන යටතේ අලුත් අවුරුද්දේ පළමු වැඩසටහන කොට්ටාව සිරි ධම්මකිත්තිකාරාම විහාරස්ථානයේදී 2023.04.16 දින ආරම්භ කරමිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා.

“මේ අවස්ථාවේ ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය,මග පෙන්වීම වැදගත්. සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් ලබා දී ඇති දායකත්වය අතිමහත්.

ගෙවුණු වසර හතළිහක කාලය ඔබගේ මහජන මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළා වගේම හැකි සෑම අවස්ථාවකම මහා සගරුවනේ ආශිර්වාදය ලබා ගනිමින් ඒ උපදෙස් මත කටයුතු කළා. ඒ මහා සංඝරත්නයේ මඟ පෙන්වීම මාතෘ භූමියටත්, සම්බුද්ධ ශාසනයටත්, ප්‍රදේශයටත් ඉටු කළ හැකි සියළු මෙහෙයන් ඉටු කරන්න ශක්තියක් වුණා.

අවුරුදු සිරිත් විරිත් ගමින් ගමට ගෙයින් ගෙට සිහිපත් කෙරෙන මේ විශේෂ කාල රාමුව තුළ, රට පුරාම එකම වේලාවක සිදුකෙරෙන මේ චාරිත්‍ර මගින් ජාතියේ එකමුතුභාවය සංකේතවත් කෙරෙනවා. රට පුරා මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් චාරිත්‍ර ඉටු වෙන අවස්ථාවක සියලු දෙනා එක්සත්ව එක්සිත්ව එකම ජාතියක් ලෙස දුක් කම්කටොලුවලින් හිස ඔසවන්න අදිටන් කර ගනිමු. ”

විහාරස්ථානයේ පොල් පැළයක් රෝපණය කළ අග්‍රාමාත්‍යවරයා අතින් උක්ත වැඩසටහන යටතේ පොල් පැල බෙදාදීම සිදු කෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි, විහාරාධිකාරී ලේලවල ධම්මකුසල හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී විජේසිරි, ඇතුළු ආරාධිතයන් හා ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට එක්විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය