කිසිම රාජ්‍ය සේවකයෙකුට නිල රාජකාරි ඉටු කිරීම ප්‍රතික්ෂේප කරන්න බැහැ. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2023.03.30 දින වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති “අලුත් ගමක් අලුත් රටක්” ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ ජාතික ඒකාබද්ධතා සහභාගීත්ව සංවර්ධන වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමිනි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා එකඟතාවයට එළැඹීමෙන් පසු මෙතෙක් අත්හිටුවා තිබූ ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු ආරම්භ වීමත් සමඟ රටේ ආර්ථිකය යළි සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය කතාවේදී අවධාරණය කළේය. “ඒ නිසා තමයි ලෝකයේ සියලුම බැංකු අපි සමඟ මුල්‍ය ගනුදෙනුවලට පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කර තිබෙන්නේ.

ආර්ථිකය පණ ගැන්වීමේ මාර්ගය එයයි. නමුත් අරමුණකින් තොරව අපට එය භාවිත කරන්න බැහැ. ආදායම් වියදම් පාලනය කරගෙන ආයෝජනය කරන්න වෙනවා. වෙනදා වගේ අපි බලාපොරොත්තු වුණු සම්පූර්ණ වියදම් ලේඛනයකට යන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ.

රජය ගෙන ගිය ස්ථාවර වැඩපිළිවෙළ නිසා තෙල් මිල අඩු කරන්න පුළුවන් වුණා.

ජනතාවගේ දුෂ්කරතා මධ්‍යයේ ආර්ථිකය පණගැන්වීමේ අවස්ථා අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මෙම වැඩසටහන වරින් වර සමාලෝචනය කළ යුතු වෙනවා. සැලැස්මකට කාල සටහනකට ගමන් කිරීමට රාජ්‍ය සේවය කැපවී කටයුතු කරන්න කියන එක මම ඉතාම ඕනෑකමින් අග්‍රාමාත්‍යතුමා සහ රාජ පරිපාලන අමාත්‍යතුමා හැටියට ඉල්ලා සිටිනවා.

එය ඔබගේ වගකීමක්. එය අපගේ බැඳීමක්. කිසිම රාජ්‍ය සේවකයකුට තම රාජකාරිය කිරීමට නොහැකිය කියා කියන්න බැහැ. මම ඒක පිළිගන්නේ නැහැ. එහෙම නැත්නම් රාජ්‍ය සේවකයෙක් නොවී පෞද්ගලික සේවයට යන්න පුළුවන්. පරිවර්තනය කළ හැකි කාලය අපේ රටේ සංවර්ධනයට යොදවන ලෙස මම රාජ්‍ය සේවයෙන් ඉල්ලා සිටිනවා.

පාසල් 300ක් පමණ පසුගිය අවුරුදු 15 තුල වයඹ පළාතේ වැසී ගොස් තිබෙනවා. එය හොඳ තත්ත්වයක් නොවේ. කොහොමත් පාසල් වැහෙන්න දෙන්න හොඳ නෑ. එහෙම වැහෙනවා නම් මීට සමාන්තරව වෙනත් පාසලක් ආරම්භ කළ යුතුයි.

අපි ලේසියට පාසල් වහලා දැම්මට ඒ භූමිය වෙනුවෙන් අපි ආයෝජනය කර තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් මම ඕනෑකමින් ඉල්ලන්නේ අපේ පාසලෙන් පිටවන හැම දරුවෙකුටම වෘත්තීයමය පුහුණුවක් ලබාදිය හැකි වැඩපිළිවෙළක් ඉටුකිරීම සඳහා සංවර්ධන කමිටු නායකත්වය ගත යුතුයි”.

වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, ඩී බී හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සමන්ප්‍රිය හේරත්, සුමිත් උඩුකුඹුර, දයාසිරි ජයසේකර, අසංක නවරත්න, මංජුල දිසානායක, ගුණපාල රත්නසේකර ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.