කොරියානු AKOFE මගින් ශ්‍රී ලංකාවට කරන ලද උපකාර ඉතා ප්‍රශංසනීයයි.. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

දැනුම ලබාදීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ කොරියානු සහය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රශංසාවට ලක්වෙයි. 2022.11.28 වන දින කොළඹ පැවති AKOFE මිත්‍රත්ව උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා වර්තමානයේ කැපී පෙනෙන අයුරින් වර්ධනය වන බවයි.

ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා වූ කොරියාවේ ප්‍රයත්නයට අනුකූලව ශ්‍රී ලංකාවේ KOICA ශිෂ්‍යත්ව ලාභීන්ගේ සංගමය (AKOFE) මගින් බොහෝ සුබසාධන ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කරන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දෙරට අතර සහයෝගිතාව ශාස්ත්‍රීය, විද්‍යා හා තාක්‍ෂණ, ආරක්‍ෂක සහ සංස්කෘතික සබඳතා ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක් ආවරණය කරන බවත් කොරියානු සංවර්ධන ආකෘතිය සහ මානව සම්පත් ධාරිතා සංවර්ධන ක්‍රියාකාරකම් සැලසුම් පිළිබඳව ලාංකීය නිලධාරීන් බෙහෙවින් පැහැදී සිටින අතර, ඔවුන් ඒවා ශ්‍රී ලංකාව තුළ මනාව ක්‍රියාවට නංවන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය අංශයේ උපකරණ, පාසල් උපකරණ සහ ඉගෙනුම් ද්‍රව්‍ය පරිත්‍යාග කරමින් ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් සහ පාසල්වලට උපකාර කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා AKOFE විධායක කමිටුවට ස්තුතිය පුද කළඅතර . “මගේ මැතිවරණ කොට්ඨාසයේ පිහිටි පඤ්ඤාගුල මහා විද්‍යාලය, තුම්මෝදර සහ පුවක්පිටිය රෝමානු කතෝලික විද්‍යාලය AKOFE වෙතින් එවැනි අනුග්‍රහය ලැබූ දුෂ්කරතා සහිත පාසල් දෙකක්.” බවද සඳහන් කළේය.

මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, කොරියානු තානාපති සන්තුෂ් වුන්ජින් ජියොන්ග්, KOICA අධ්‍යක්ෂ කිම් ම්යුන්ග් ජින් යන මහත්වරුද එක්ව සිටියහ.