ව්‍යාපාරිකයින්ට විදේශ විනිමය ඉපයීමේ නව දොරටු විවර කළ හැකියි.. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ නීති රීති සංශෝධනය කරමින් සහන හා බදු පැනවීම් ගැන යළි අවධානය යොමු කරන්න සූදානම්...

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ 2024.06.29 දින පැල්මඩුල්ල සිල්වර් රේ හෝටලයේ දී රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ප්‍රථම වරට පැවැත්වූ “ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය -2024” විවෘත කරමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

“තේ, පොල්, රබර් වලටත් වඩා අපේ රට ප්‍රසිද්ධ උනේ මැණික්වලට. අතීතයේ අපේ රටේ මැණික් සම්බන්ධව විවිධ රටවල රජදරුවෝ, ව්‍යාපාරික වෙළෙන්දෝ අතර ප්‍රසිද්ධ වෙලා තිබුණා. අපේ මැණික් වලට තිබුනේ පූජනීය උතුම් වටිනාකමක්. නමුත්, මැණික් නිසා අපේ රට අල්ලගන්න කවුරුත් ආවේ නෑ. අපිව ආක්‍රමණය කලේ වෙනත් දේ ලබා ගන්න. ඉන් පසුව අපේ රටේ ආර්ථිකය නංවන්න, විදේශ විනිමය උපයාගන්න, ප්‍රධාන අපනයන භෝග විදියට තේ, පොල්, රබර් දායක වුණා. ගම් නියම්ගම් වෙනස් කරමින්, රටේ භූගෝල සිතියම වෙනස් කරමින් තේ, පොල්, රබර් වගා කළා. ශතවර්ෂ එකහමාරක් තිස්සේ අපි එය සිදුකරමින් සිටිනවා.

අපනයනය කිරීමෙන් විදේශ විනිමය උපයා ගැනීමේ මාර්ගවලට අලුත් දොරටු හරින්න වෙනවා. එහිදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට හොඳ අවස්ථාවක් තිබෙනවා.

මෙය රජයේ මඟ පෙන්වීම හා සහභාගිත්වයෙන් පෞද්ගලික අංශය ඉදිරියට ගෙන යන කර්මාන්තයක්. ඒ වගේම හොද අනාගතයක් ඇති, විවිධත්වයක් සහිත, විවිධ ක්ෂේත්‍රවල වටිනාකම් ඇති කිරීමට යොදාගත හැකි කර්මාන්තයක්.

මෙම කර්මාන්තය සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගැනීමේ හැකියාව තිබෙනවා. මේ ක්ෂේත්‍රයට අදාළ නීති රීති සංශෝධනය කරමින් ක්ෂේත්‍රයට නැගී සිටින්න අවස්ථාව ඉල්ලා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සහන, බදු පැනවීම් ගැන යළි අවධානය යොමු කරන්න ජනාධිපතිතුමා සූදානම්. දෑතින් නිමවූ අපේ ස්වර්ණාභරණ වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. ආර්ථික වර්ධනය වෙනුවෙන් කළ කැපකිරීම් හරහා මේ පරිවර්තනය සිදුවෙමින් තිබෙන්නේ. ඒ නිසා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නංවන්න රජයේ සහාය දෙනවා.”

ප්‍රදර්ශන කුටි 80කින් සමන්විත මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා චීනය, ඉන්දියාව, වියට්නාමය ඇතුළු රටවල විදේශ දූත පිරිස් සහ සාමාජික ප්‍රජාවද එක්ව සිටියහ.

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි, සබරගමු පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක, අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, යදාමිණී ගුණවර්ධන, මර්ජාන් ෆලීඩ්, වරුණ ලියනගේ, රාජ්‍ය නිලධාරීන්, මැණික් ව්‍යාපාරිකයින් හා විදෙස් ගැණුම්කරුවන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය