අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාමඤ්ඤ සහ අමරපුර මහා නාහිමිවරුන් බැහැදකී.

රාමඥ්ඥ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නායක හිමියන් බැහැදැකීමට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2022.08.14 දින නාරාහේන්පිට පිහිටි මහා සංඝ මූලස්ථානයට පැමිණියේය.

එහිදී අනුශාසනා කළ මහනාහිමියන්...
" ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී අදාල පලාත, ජීවනෝපාය, පළාතේ ජනතා ආකල්ප පිලිබඳ අවබෝධයක් ඇති උගත් බුද්ධිමත් පුද්ගලයන් පත් කිරීමට වග බලා ගැනීමට රජය කටයුතු කළ යුතුයි. රටේ ජනතා ප්‍රශ්න කඩිනමින් විසඳීම සදහා ප්‍රමුඛතාව දීමත් අවශ්‍යයි. රටේ පෞරාණික සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමට රජය මැදිහත් වීමද ඉතාමත් වැදගත්,,

මහා සංඝරත්නයේ අනුශාසනා සහ ආශිර්වාදය රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා බලාපොරොත්තු වන බවත්, ජනතා ප්‍රශ්න කඩිනමින් විසඳිමට රජය මේ වන විටත් ක⁣ටයුතු කරමින් සිටින බවත්, දුෂණ අක්‍රමිකතා වලින් තොරව රාජ්‍ය ආයතන ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එවැනි අක්‍රමිකතා සිදු කරන රාජ්‍ය නිලධාරීන්ට සහ ආයතන වලට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි, යදාමිනි ගුණවර්ධන, ජගත් කුමාර, සුරේෂ් රාගවන් යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී වුහ.

රාජගිරිය, කලපළුවාව ගෞතම ත⁣පෝවන විහාරයේ වැඩවසන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන් බැහැ දැකීමට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජගිරිය කලපළුවාව ගෝතම තපෝවන විහාරයට 2022.08.14 දින පැමිණියේය.

එහිදී අනුශාසනා කළ මහා නායක හිමි..
"රටේ ආර්ථික අර්බුධය විසදීමට සියලු පක්ෂ එක්ව කටයුතු කළ යුතුයි. රටේ දැවෙන ප්‍රශ්න කඩිනමින් විසදීමට රජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අවශ්‍යයි. පාසල් අධ්‍යාපනය ඵලදායි නොමැති වීමෙන් රැකියා විරහිත පිරිස් වැඩිවෙමින් පවතිනවා. එනිසා කඩිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමත් කාලෝචිතයි. කෘෂිකර්මයට මූලිකත්වය ලබා දෙමින් රට ස්වයංපෝෂිත කිරීමට වැඩපිළිවෙළක් සැකසීම, ඉන්ධන ගෑස් ඇතුළු අවශ්‍යතා කඩිනමින් ලබා දී ජනතා අසහනය සමනය කිරීම, විහාරස්ථාන හා සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් විසදීමට ක්‍රමවේදයක් සකස් කිරීම යන කරුණු පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුයි."

"මහා නාහිමියන් විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අවධානය යොමු කර ක්‍රියාත්මක කල හැකි සියලු යෝජනා සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවත් නිරතුරු මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා වලට සවන් දෙමින් කටයුතු කරන බවත්, ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු වලට කඩිනම් විසඳුම් ලබා දෙමින්, දේශිය කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම තුලින් විදේශ විනිමය ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරමේ වැඩපිළිවෙළ පිළිබඳවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පැහැදිළි කළේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි, යදාමිනි ගුණවර්ධන, ජගත් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.