අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරේනෝ (Carmen Moreno) මහත්මිය අතර හමුවක් 2023.12.01 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය.

ශ්‍රී ලංකාවේ දුෂ්කර කාල පරිච්ඡේදය තුළ දී යුරෝපා සංගමය ලබාදුන් අගනා සහාය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා කෘතවේදිත්වය පළ කළේ ය.

දශක ගණනාවක් පුරා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පවතින දැඩි සබඳතාව සහ යුරෝපා වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකා අපනයන සඳහා ජී.එස්.පී ප්ලස් පහසුකම හරහා ලබාදුන් සහන අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේ ය.

යුරෝපා සංගමයේ රටවලට නිමි ද්‍රව්‍ය හා කෘෂිකාර්මික නිෂ්පාදන යුරෝපා සංගම් වෙළෙඳපොළට අපනයනය කිරීමේ හැකියාව පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා යුරෝපා සංගමයේ රටවල විශ්වවිද්‍යාල සමඟ ඇති සහයෝගිතාව ද මෙම හමුවේ දී සැලකිල්ලට ලක් කෙරුණු අතර යුරෝපා සංගමයේ විශ්ව විද්‍යාල සමඟ සබඳතා වැඩි දියුණු කිරීම සඳහා සිය සහයෝගීතාවය තානාපතිවරිය ප්‍රකාශ කළා ය.

යුරෝපා සංගම් ගෝලීය ප්‍රවේශ උපාය මාර්ගය මඟින් දිරිමත් කළ හැකි සහාය යටිතල පහසුකම් සඳහා

• රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජන,
• හරිත බලශක්තිය,
• තිරසාර සංවර්ධනය සඳහා අධ්‍යාපනය සහ පර්යේෂණ

හරිත සංක්‍රාන්තිය, ඩිජිටල්කරණය, සම්බන්ධතාව, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා ආයෝජන ආශ්‍රිත ණය ලබාදීමේ දී යුරෝපා ආයෝජන බැංකුව සමඟ ඇති කරගත හැකි හවුල්කාරීත්වය ද මෙම හමුවේ දී දැඩි අවධානයට ලක් විය.

සංචාරක ක්ෂේත්‍රයේ පවතින අවස්ථා අවධාරණය කළ තානාපතිවරිය ඒ සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා යුරෝපා සංගමය කැප වන බව පැවසීය.

මෙම අවස්ථාවට යුරෝපා සංගමයේ දූත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානී ලාස් බිරීඩල්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, අග්‍රාමාත්‍ය උපදේශක සුසිරිපාල තෙන්නකෝන් යන අය එක් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය