පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් ධීවර ඇමතිවරයාගෙන් වාර්තාවක් කැඳවයි.......

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරිම වළක්වා ගැනීමට අදාල වාර්තාවක් කඩිනමින් තමන්ට ඉදිරිපත් කරන්නැයි අගාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා (2022-10-28) ධීවර ඇමැතිවරයාට උපදෙස් දුන්නේය.
ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේ සහභාගීත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදි අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් දුන්නේය.

පුත්තලම කල්පිටිය අවට මුහුදු තීරයේ දී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලිම හේතුවෙන් ඩොල්ෆින් හා නිල් තල්මසුන්ට හානි සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී යදමිණි ගුණවර්ධන මහතා ද ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ පිළිබඳ අවධානය යොමු කළේය.

මෙලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා සාගර පරිසර පද්ධතියට දැඩි හානි සිදුවන අතර එය මත්ස්‍ය කර්මාන්තයේ උන්නතියට ද බලපායි. ශ්‍රී ලංකාව ආශ්‍රිත සාගර කළාපයේ දී ඩොල්පින් මසුන් දැක බලාගැනිමට හැකි හෙයින් බොහෝ සංචාරකයින් ඒ සඳහාම මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් ඇති නිසා මෙරට මුහුදු කළාපයේ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් මැරිම සංචාරක කර්මාන්තයටත් අයහපත් ලෙස බලපාන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේය.

මෙම ගැටළුව සමබන්ධයෙන් ධීවරයින් සමඟ සාකච්ඡා කර එමගින් සාගර පද්ධතියටත්, රටේ ආර්ථිකයටත් සිදුවන අයහපත ධීවරයින්ට පෙන්වා දී, එහිදී ඇතිකරගන්නා එකඟතා ද ඇතුළත් කරමින් මෙම වාර්තාව සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මාස දෙකක් ඇතුළත මේ සඳහා පිළියම් ඇතුළත් වාර්තාව අග්‍රාමාත්‍යවරයාට බාරදෙන බව එහිදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කළේය. අනතුරුව එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතය.

තහනම් මෙවලම් භාවිතයෙන් ධීවර කටයුතුවල යෙදීම වැළැක්වීමට ධීවර අමාත්‍යංශ නිලධාරීන් මන්දගාමී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීම පිළිබදව කණගාටුවන බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන මහතා සඳහන් කළේය. දකුණු පළාතේ මුහුදු ප්‍රදේශවල මෙවැනි නීති විරෝධී ආම්පන්න භාවිතය වැළැක්වීමට පියවර ගෙන ඇති බවද පෙන්වා දුන් මන්ත්‍රීවරයා අනෙකුත් මුහුදු ප්‍රදේශවල ද නීති විරෝධී ආම්පන්න භාවිතයෙන් මසුන් මැරීම වැළැක්වීමට ප්‍රමාද වන්නේ ඇයිදැයි නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය.

ධීවරයින්ට පුපුරණ ද්‍රව්‍ය ලැබෙන ක්‍රමවේද වැළැක්වීම, නිතිවිරෝධී ක්‍රමවේද භාවිතා කරමින් මසුන් මරන්නන්ට එරෙහි නීතිමය ප්‍රතිපාදන ද ඉහළ නැංවීම හා පොලිසියේ සහ නාවික හමුදාවේ සහය ඇතිව තහනම් ධීවර ක්‍රමවේදවල යෙදෙන්නන් වැටලීම් පුළුල්කිරීම සදහා කටයුතු කරන බව අමාත්‍යංශ නිලධාරීන් සඳහන් කළහ.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ද මෙහිදී අදහස් දැක්වීය. මෙම සාකච්ඡාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක, ධීවර දෙපාර්තමේන්තුවේ සහ නාරා ආයතනයේ ජේෂ්ඨ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.