පළාත් පාලන ආයතනවල ස්ථිර කල 8453 ට පත්වීම් දීම ඇරඹේ - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ලෝක බැංකුවේ උපදෙස් අනුව සේවකයින් එළියට දාපු රටක් බවට අපි පත්වුණේ නෑ...

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, දිවයින පුරා පළාත් පාලන ආයතනවල ස්ථිර කළ 8435 ක් වූ සේවකයන්ගෙන්, සබරගමු පළාත් සේවකයන්ට ස්ථිර පත්වීම් ලබා දීමේ 2024.06.29 දින රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයට එක්වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...

"රාජ්‍ය සේවාවන්වල සේවක සංඛ්‍යාව අතිරික්තයක් කියලා බවට නිගමනය කර තිබුණා. මේ නිසා භාණ්ඩාගාරය පැවැති ආණ්ඩුවලට උපදෙස් දුන්නේ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව අඩුකර ගන්නා ලෙසයි. වසර දෙකකට පෙර අපේ රට මුහුණදුන් අර්බුදකාරී තත්ත්වයේදී මේ ප්‍රශ්නය ඉදිරියට ආවා. ජාත්‍යන්තරව ලෝක බැංකුව හා මූල්‍ය අරමුදල අපිට කිව්වේ පුළුවන් තරම් සේවක ප්‍රමාණය අඩු කිරීමේ ක්‍රියාවලියට පිවිසෙන්න කියලයි. අපි ඒ උපදෙස් අනුව සේවකයින් එළියට දාපු රටක් බවට පත්වුණේ නෑ. ඒක තමයි මේ ආණ්ඩුවයි මෙවැනි අර්බුදයකට මුහුණ දුන්නු ලෝකයේ අනෙක් රටවල් අතරයි තියෙන වෙනස. ඒ අතරතුරයි ඔබ මේ ජයග්‍රහණය ලබන්නේ.

ස්පාඤ්ඤය යුරෝපයේ සංචාරකයෝ වැඩියෙන්ම පැමිණෙන පොහොසත් යුරෝපීය රටක්. ආර්ථික අර්බුදයේදී, ඔවුන් පළමුව විශ්‍රාම ගෙවීම නතර කරා. දෙවනුව රාජ්‍ය සේවයෙන් සියයට හතළිහක් ගෙදර නතර කලා. ඔවුන්ට වැටුප් ගෙව්වෙ නෑ. පෘතුගාලයත් ඒ අර්බුදයටම වැටුණා. ඊට පස්සේ ග්‍රීසිය වැටුණා. රාජ්‍ය සේවකයෝ බාගයකින් අඩුකර, විශ්‍රාමිකයින්ට විශ්‍රාමයෙන් භාගයක් දෙන්නයි ග්‍රීසියට කිව්වා. ඒ පියවර අනුගමනය කිරීමෙන් පසුවයි ඉදිරි පියවර සාකච්ඡා කරන්නේ කිව්වා.

අපේ රටට එහෙම යෝජනා ආවත් අපිට පුළුවන් වුණා අපේම වූ වැඩපිළිවෙළක් සකස් කරගෙන රජයේ ආයතනවල සියලු දෙනාටත්, විශ්‍රාමිකයින්ටත් වෙලාවට වැටුප් ගෙවලා සේවාවන් පවත්වාගෙන යන්න. අලුතින් තිබෙන ඉඩකඩ සොයා බලමින්, ඔබගේ ස්ථාවරත්වයත් විශ්‍රාමිකයින්ගේ ස්ථාවරත්වයක් ඇති කරමින් සේවාවන් පවත්වාගෙන යාමේ අපේ වැඩපිළිවෙළේ වැදගත් අවස්ථාවකට අද පැමිණ සිටිනවා.

ඔබ පළාත් පාලන ක්ෂේත්‍රයේ විශාලතම ජයග්‍රහණයක් ලබන්නේ. අපට වැය කිරීමේ හැකියාව සීමා සහිතයි. රාජ්‍ය ආදායම නිසි ලෙස කළමනාකරණය කිරීම නිසා ගිය අවුරුද්දට වඩා ප්‍රගතියක් ලබා මේ අවුරුද්දේ සහන තත්ත්වයකට ගමන් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අවිශ්වාස කාලය අවසන්කර විශ්වාසවන්ත කාලය තහවුරු කර තිබෙනවා. ඔබ ලැබූ පූර්ණ අයිතිවාසිකම් හා ජයග්‍රහණ තුළින් තවදුරටත් ජනතාවට තමන්ගේ සේවාව සපයයි කියලා විශ්වාස කරනවා."

සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය මහජන නියෝජිතයින්, පත්වීම්ලාභීන් මෙම අවස්ථාවට එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය