ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමට මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම්...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා (Moosa Zameer) අතර හමුවක් අද (ජුනි 6) අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

දෙරට අතර වෙළෙඳාම, ආයෝජනය, අධ්‍යාපනය සහ සංස්කෘතික සහයෝගීතාවයේ නව ප්‍රවණතා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා පුළුල් කිරීමට තම රට දැඩි උනන්දුවකින් පසු වන බැවින් යෝජිත ද්විපාර්ශ්වික ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් මඟින් මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා මෙහිදී පැවසී ය.

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් හා ද්විත්ව බදු වළක්වා ගැනීමේ ගිවිසුමක් අත්සන් තැබීමට නියමිතව ඇත. මෙමගින් මාලදිවයින් මුදලින් ගෙවීම් ලබන එරට සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට සහ මෙරට ඉගෙනුම ලබන මාලදිවයින් සිසුන්ටත්, වෛද්‍ය කටයුතු වෙනුවෙන් මෙරට සංචාරය කරන මාලදිවයින් වැසියන්ටත් ගෙවීම් කිරීමේ පේෂණ ක්‍රමයක් වෙනුවෙන් පහසුකම් සැලසීමට යෝජිත ය.

මාලදිවයින් අධ්‍යාපන ක්‍ෂේත්‍රය වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගයට ස්තූතිය කළ කළ අමාත්‍යවරයා මාලදිවයින් සිසුන් වැඩි පිරිසකට මෙරට අධ්‍යාපන අවස්ථා සලසන ලෙසත් ඉල්ලා සිටියේ "බොහෝ මාලදිවයින් ජාතිකයන් මෙන් මමත් ශ්‍රී ලංකාවේ ඉගෙනුම ලැබුවා" යැයි පවසමිණි.

ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ට සහ වෛද්‍යවරුන්ට මාලදිවයිනේ සේවය කිරීම සඳහා අවස්ථාව සැලසිය හැකි හෙයින් ඒ සදහා රජයන් අතර ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳව සලකා බලන ලෙස ද මාලදිවයින් අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට යෝජනා කළේය.

මෙම සාකච්ඡාවේදී මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට උපරිම සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ ධීවරයින්ට මාලදිවයින් මුහුදු සීමාව හරහා අන්තර්ජාතික මුහුදට පිවිසීමට නිදහස් ප්‍රවේශයක් සකසන ලෙස මාලදිවයින රජයෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ අතර අමාත්‍ය සමීර් පැවසුවේ තම රජය යාත්‍රා ගමනාගමනය නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යාත්‍රා හඳුන්වාදී ඇති බවයි. එ මඟින් ධීවර යාත්‍රා සඳහා ආරක්ෂිත ගමන් මාර්ගයක් සහතික කරන බැවින්, ඩ්‍රෝන තොරතුරු හුවමාරුව සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට එළඹීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

සංචාරක හා බලශක්ති ක්ෂේත්‍රයේ මෙන්ම සූර්ය බලශක්ති සහ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ය.

අමාත්‍ය සමීර් සමඟ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ෂෙරියානා අබ්දුල් (Sheryana Abdul), මාලදිවයිනේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad), අතිරේක ලේකම් ශිරුසිමත් සමීර් (Shiruzimath Sameer), අධ්‍යක්ෂ ජනරාල් අයිෂාත් ෆරීනා (Aishath Fareena) සහ නියෝජ්‍ය මහ කොමසාරිස් ෆාතිමත් ගිනා (Fathimath Ghina) ද එක් ව සිටිය හ.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් නිලූක කදිරගමුව, මාධ්‍ය උපදේශක සුගීස්වර සේනාධිර එක්ව සිටිය හ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය