කොළඹ ගංවතුර වැළැක්වීමේ අනාගත අභියෝගය අවම කර ගැනීම සඳහා තෙත්බිම් සම්පතක් සේ සලකා ආරක්ෂා කරගත යුතුයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

නාගරික තෙත්බිම් සුරැකීමේ වගකීම අප සාමූහිකව දැරිය යුතුයි...

අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ආසියානු සමළුවේ සමාරම්භක උත්සවයට අද (2024.06.17 ) එක් වෙමිනි.

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව ජුනි 14 සිට 21 දක්වා බත්තරමුල්ල දියසරු උද්‍යානය ආශ්‍රිතව පැවැත්වෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

“පරිසර සංචාරක ව්‍යාපාරය සඳහා තෙත්බිම් සහ තෙත්බිම් මධ්‍යස්ථාන” යන තේමාව යටතේ තෙත්බිම් කළමනාකරණය පිළිබඳ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා රටවල් 15කට අධික ප්‍රමාණයක තෙත්බිම් විශේෂඥයින් 100ක් පමණ මෙම සමුළුවට එක් ව සිටිනවා.

ඕනෑ ම ප්‍රධාන නගරයක වෙසෙන ජනතාවගේ යහපැවැත්ම සඳහා තෙත්බිම් අවශ්‍යයි. අපගේ වාණිජ නගරය වන කොළඹටත් එය අදාල නිසා මෙම සමුළුව අතිශයින් වැදගත්. නගරයේ මානව යහපැවැත්මට දායක වන ප්‍රතිලාභ රාශියක් මේ තෙත්බිම් මගින් ලබාදෙනවා. කොළඹ තෙත්බිම් සංකීර්ණය පළාත් පාලන ආයතන හයක් යටතේ පවතිනවා. පරිපාලන අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව, කොළඹ මහා නගර සභාව, කඩුවෙල මහා නගර සභාව, කොළොන්නාව නගර සභාව, මහරගම නගර සභාව සහ දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව ඒ පලාත් පාලන ආයතනයි. මෙම ප්‍රාදේශීය පාලන ප්‍රදේශ යටතට වැටෙන නාගරික තෙත්බිම්, නගරයේ සංවර්ධන සැලසුම්කරණයේ ප්‍රධාන අංගයක්. වසර 150ක් පැරණි තෙත් බිම් ප්‍රතිසංස්කරණය කර එය තවත් වසර 150ක් පවතිනු ඇතැයි සහතික කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා, පළාත් පාලන විෂය භාර ඇමැතිවරයා වශයෙන් මම මේ විෂය ගැන විශේෂ උනන්දුවක් දක්වනවා.

කොළඹ නගරයේ ප්‍රධාන තෙත්බිම් මධ්‍යස්ථානය වන දියසරු උද්‍යානය තෙත්බිම් සංරක්ෂණය හා සන්නිවේදනය, අධ්‍යාපනය, සහභාගිත්වය සහ නේවාසික ප්‍රජාවන්ගේ දැනුවත්භාවය තුළින් ඥානවන්ත භාවිතය පිළිබඳ එක්රැස් වී ක්‍රියාමාර්ග ගැනීමට වැදගත් සහ සුදුසු ස්ථානයක්. තෙත්බිම් දූෂක ජලය පිරිසිදු කිරීම සඳහා පෙරනයක් ලෙස ක්‍රියා කරන අතර මසුන්, පක්ෂීන්, වෘක්ෂලතා සහ සත්ත්ව විශේෂ සඳහා අභිජනන ස්ථාන සැපයීම මගින් ජෛව විවිධත්වයට සහාය වෙනවා.

දකුණු ආසියාව පුරා දේශගුණික විපර්යාසවලින් සිදුවෙන බලපෑම් උත්සන්න වෙමින් පවතිනවා. සෑම දිනකම මාධ්‍ය මඟින් අපගේ ප්‍රදේශවල සිදුවෙන විනාශකාරී බලපෑම් අපි දකිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණ සමුළුවේ දී ප්‍රකාශ කළ පරිදි දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසු වනවා. කොළඹ, ගංවතුරට ලක්වීම වළක්වන වන ලෙස නගරය මුහුණ දෙන අනාගත අභියෝග අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සම්පතක් බවට තෙත්බිම් පත් වෙමින් තිබෙනවා. අධික වර්ෂාපතනය අතරතුර, නගරයේ තෙත් බිම්වල ජලය ඝන මීටර් මිලියන ගණනක් ගබඩා කෙරෙනවා. හරිත, යටිතල පහසුකම් (ජල කළමනාකරණයට අවශ්‍ය යටිතල පහසුකම්) සඳහා අපගේ මැදිහත්වීම් සහ ආයෝජන, නගරයට ඔරොත්තු දෙන තත්ත්වයට පත් කර විකල්ප විසඳුම්වලට යොමුවීම වඩා ලාභදායී වෙනවා.

නාගරික තෙත්බිම් ඥානවන්ත ලෙස භාවිත කිරීම අගය කිරීම සඳහා රැම්සා තෙත්බිම් නගර ප්‍රතීතන යෝජනා ක්‍රමය මගින් 2018 වසරේ කොළඹ නගරය රැම්සා තෙත්බිම් නගරයක් ලෙස පිළිගෙන තියෙනවා. වැදගත්ම දෙය නම් තෙත්බිම් නගරයක් ලෙස පිළිගැනීම ලැබූ පළමු අගනුවර කොළඹ වීම යි. සංචාරක ව්‍යාපාරය ආර්ථිකයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇති අතර තිරසාර සංචාරක සංකල්පය ලොව පුරා මෑත වසරවලදී සැලකිය යුතු අවධානයක් දිනා තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය යනු වැදගත් ගෝලීය ඉලක්ක රාශියක් සාක්ෂාත් කර ගැනීමට දායක විය හැකි ප්‍රධාන කර්මාන්තයක්. ආර්ථික වර්ධනය, සමාජ සංවර්ධනය සහ පාරිසරික ආරක්ෂාව සමතුලිත කිරීමට උත්සාහ කරන තිරසාර සංවර්ධනය 1992 රියෝ පෘථිවි සමුළුවේ සිට ප්‍රධාන වශයෙන් අවධානයට ලක් ව ඇත. එ බැවින් පළමු තෙත්බිම් සබඳතා ජාත්‍යන්තර ආසියා - ඕෂනියා සමුළුවේ තේමාව වන “පරිසර සංචාරක ව්‍යාපාරය සඳහා තෙත්බිම් සහ තෙත්බිම් මධ්‍යස්ථාන” තිරසාර සංවර්ධනය සඳහා රජයේ ජනවරම සහ උත්සාහයට බෙහෙවින් අදාළ වෙනවා. වැදගත්ම දෙය නම්, නාගරික පරිසරයක පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ දී තෙත්බිම් උද්‍යාන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

මෙය අවසානයේ දේශීය හා විදේශීය සංචාරකයින් අතර පාරිසරික සංචාරක ව්‍යාපාරය සඳහා නව අවස්ථා විවෘත කරනු ඇති. නාගරික මධ්‍යස්ථාන අසල තෙත් බිම් නේවාසික, කාර්මික සහ වාණිජ පහසුකම්වලින් වැඩි වන සංවර්ධනීය පීඩනයකට ලක් ව තිබෙනවා. එ බැවින් කුඩා හෝ විශාල බව නොතකා සෑම නාගරික තෙත් බිම් කැබැල්ලක් ම තීරණාත්මක වන අතර ඒවා සුරැකීමේ වගකීම අප සාමූහිකව දැරිය යුතු වෙනවා.

නාගරික තෙත්බිම් මුහුණ දෙන ගැටලුවල පොදු බව ගැන සැකයක් නැහැ. ඒවා මෙහි නියෝජනය වන සියලු ම නගරවලට පොදු බව මට විශ්වාස යි. එ බැවින් විසඳුම්වල පොදු බව පිළිබඳ සලකා බලන ලෙස ගෞරවනීය විද්වතුන් වෙත මෙම අවස්ථාවේදී අවධාරණය කිරීමට කැමැතියි.

මෙම සමුළුවේ ප්‍රතිඵල මඟින් නාගරික උද්‍යාන ජල කළමනාකරණය වැඩිදියුණු කිරීමට බලපෑමක් ඇති කරනු ඇතැ යි මම බලාපොරොත්තු වෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා ඇතුළු නිලධාරීන්, රම්සා ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සුහ් සෙයුන්ග් ඕ (Suh Seung Oh) මහතා සහ අනෙකුත් විදේශීය සහ දේශීය විශේෂඥයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය