ශෝක ප්‍රකාශය

අප රජයේ, ක්‍රියාශීලී මහජන නියෝජිතයකු වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මැතිතුමාගේ හදිසි වියෝව බලවත් පාඩුවක් වනු ඇත.

දශක තුනක පමණ ප්‍රායෝගික දේශපාලන භූමිකාවක නිබඳ කටයුතු කළ ඔහුගේ මෙහෙවර ප්‍රගතිශීලී කඳවුර තුළ ගිණිය නොහැකි හිඩැසකි.

පළාත් පාලන ආයතනයේ සිට වයඹ පළාත් අමාත්‍යවරයෙකු වශයෙන් ද කටයුතු කර පාර්ලිමේන්තුවට පිවිසි ඔහු භාරදූරම අමාත්‍යංශයක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වගකීම දරමින් එම විෂය පථය තුළ මනාවබෝධයෙන් කටයුතු කළේය.

ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වූ ජලය පිළිබඳ විෂය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නිරන්තරයෙන් ඔහු මා සමග කළ සාකච්ඡා ගෞරවයෙන් සිහිපත් කරමි.

පුත්තලම් දිස්ත්‍රික් ජනතාව සමග නිබඳ කටයුතු කරමින් සමාජ ගත කළ හර පද්ධතීන් සමග ගමින් ගමට යමින් වැඩිහිටියන් මෙන්ම තරුණ පරම්පරාවට ද ජීවන ගමනේ ඔහු තැබූ හරවත් මග සලකුණු බොහෝය.

අභියෝගයන්ට අභියෝගයක් වෙමින්, සිය කඳවුර තුල ජය පරාජය හමුවේ කොන්දේසි විරහිතව පෙනී සිටි ඔහු එකී කඳවුරට අත්කර දුන් ජයග්‍රහණ බොහෝය. එම අරමුණට තම ජීවිතයේ පෞද්ගලික කටයුතු පවා කැප කරමින්, චෝදනා හමුවේ නොසැලී කටයුතු කරමින් දැක්වූ කැපවීමද සිහිපත් කරමි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරිකයකු වශයෙන් ජය මෙන්ම පරාජය ඉදිරියේද ඔහු පක්ෂයට විශාල ශක්තියක් ගෙන දුනි.

ඔහුගේ වියෝවෙන් ශෝකයට පත් දයාබර බිරිඳ දූ දරුවන් ඇතුළු ඥාති මිත්‍රාදීන් සහ සහසම්බන්දිත සැමට අපගේ ශෝකය පලකරමු.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මැතිතුමා ට මොක්සුව පතමි.

මෙයට ,

දිනේෂ් ගුණවර්ධන (පා.ම)
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2024 ජනවාරි මස 27 දින